UOK

Monday, July 25, 2016



කොන්පියුසිස් දහම හා ජපන් පොදු ජන ජීවිතය






     ජපානයට බුදු දහම සම්ප‍්‍රාප්ත වීමට කලින් එරට මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශික්ෂණය සඳහා බෙහෙවින් බලපෑ ආගමික සංකල්ප දෙකක් පැවති බව එරට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. එනම් ශින්තෝ දහම හා  කොන්පියුසිස් ආචාර ධර්ම පද්ධතිය වශයෙනි. ෂින්තෝ  ඇදහිල්ල යනු මළවුන් පිදීම පසුබිම් කොට ගත් දේශීය චින්තනයකි. කොන්පියුසිස් ඉතැන්වීම් යනු සදාචාරවත් සමාජයක සාමූහික වගකීම් සමුදායකට පදනම් වූ විදේශීය සමාජ වටපිටාවකින් ජපන් පොදු ජන ජීවිතයට සම්බන්ධ කරන ලද්දකි.

        චීනයේ ජීවත් වූ මහා දාර්ශනිකයෙකු ලෙස සැලකෙන කොන්පියුසිස් ලෝක පූජිත මහා දාර්ශනිකයන් අතර ද විශිස්ඨ ස්ථානයක් හිමි කර ගන්නෙකි. ක‍්‍රි.පූ. 551 දී ලූ ප‍්‍රාන්තයේ උපත ලද ඔහු ක‍්‍රි.පූ. 479 දක්වා ජීවත් වූ බව සැලකේ. පූජා විධි පිළිබඳව හා රටේ අතීතය පිළිබඳ කරුණු හැදෑරීමට ඔහු කැමැත්තක් දක්වා ඇත. ඔහු එය ආරම්භ කළේ පසළොස්වැනි වියේ දී වූ අතර විසි දෙහැවිරිදි වියේ දී ගුරුවරයෙකු වශයෙන් සේවයට කැප විය.සහජයෙන් ඔහු තුළ බල පෑ කුසලතාවන් නිසාම ඔහු නොබෝ දිනකින්ම ඉතා දක්ෂ ගුරුවරයෙකු බවට පත් විය. ඉතිහාසය, ආර්ථික විද්‍යාව මෙන්ම එකල පැවති ආගමික විශ්වාස පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ඔහු ආගමික සිරිත්වලට වඩා දේශපාලනය ආචාර විද්‍යාවක් බව නිතර ප‍්‍රකාශ කර තිබේ.සමාජ ගත දෛනික ගැටලු පිළිබඳව නිතර නව දෘෂ්ටිකෝණයකින් බැලූ කොන්පියුසිස් ඒ නිසාම පාලකයන් සමග නිතර වාද විවාද ඇති කරගත් අතර නොයෙක් අවස්ථාවල ඒ හේතුවෙන් ඔහුට රැුකියාවලින් පවා ඉවත් වීමට සිදු විය. 

      ජපානයේ කොන්පියුසිස් ඉගැන්වීම් පිළිබඳ පුරාණය ඈත අතීතය තෙක් දිව යයි. ක‍්‍රි.ව. 1392-1572 අතරතුර ජපන් රාජ්‍ය තන්ත‍්‍රය මෙහෙය වනු ලැබූ අෂිකගා වරුන්ගේ පාලන සමයෙහි ඉතා තදින් පැතිර ගිය කොන්පියුසිස් දහම තොකුගාවා යුගයේ දී වඩාත් බැබලීමට පත් වූ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. වැඩවසම් පාලන ක‍්‍රමය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔවුහු කොන්පියුසිස් දහම උපයෝගී කර ගත්හ.

      කොන්පියුසිස් අලුත් දහමක් දේශනා කරන ලද්දක් නොවේ. එහෙත් එය පැරණි විශ්වාස හා සංකල්ප නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමක් වශයෙන්ද සැලකේ. ප‍්‍රධානීන්ට හා පාලකයන්ට අවනත විය යුතු යන ඉගැන්වීම කොන්පියුසිස් දහම මගින් ප‍්‍රකට නිසා වැඩවසම් සමයේ පාලකයන්ට එය රුකුලක් විය.මෙම දහම මගින් ප‍්‍රකට කළ ඉගැන්වීම් ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපෑම් කරන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වූ නිසා එය පොදු ජන ගෞරවාදරයට ද ලක් විය. කොනපියුසිස් ඉගැන්වීම මිනිසාගේ නිදහස් චින්තනයට මග පාදන්නක් නොවී ය.ඒ නිසා එය බොහෝ අවස්ථාවන්හි බුදු සමය හා සුහදව වැඩීගිය ආකාරයක් නොපෙනේ. 


   වැඩිහිටියන් පිළිබඳ කොන්පියුසිස් ආචාර ධර්ම පද්ධතියේ අවධාරණයෙන් සඳහන් වන බව පිළිගැනේ. වැඩිහිටියන් පිදීම මගින් පවුලේ සමගිය මෙන්ම මුළු මහත් මානව සමාජයේම සාමූහිකත්වය හා සහජීවනය ආරක්ෂා වන බව ඔහු පෙන්වා දී ඇත.මෙය උසස් රාජ්‍ය තන්ත‍්‍රයක නිරන්තරයෙන් දැකිය යුතු චර්යා ධර්මයක් වශයෙන් කොන් පියුසිස් හදුන්වා දී තිබේ.

       පූජාවිධි හා උත්සව වැනි දේ ආචාරවත් ජීවිතයකට අත්‍යවශ්‍ය අංගයක් බව කොන්පියුසිස් ප‍්‍රකාශ කරයි. ආගමික ප‍්‍රකාශනවල දී නිහඩ වන ඔහු පුද පූජා පැවැත්වීම සඳහා මිනිසුන්ට උපදෙස් දෙයි.ඔහුගේ සංකල්පයනට මූල බීජය වී ඇත්තේ ආචාර විද්‍යාව වේ. කොන්පියුසිස්ගේ දේශපාලන දර්ශනය දාරක පේ‍්‍රමය වැනි සංලක්ප මත රඳා පවතින බව පිළිගැනේ. ස්වකීය පවුලේ සාමාජිකයන් හා අසල් වැසියන් කෙරෙහි පවත්නා හැගීම් බදු පැවැත්මක් පාලකයා තුළ ප‍්‍රජාව කෙරෙහි පැවතිය යුතු බව ඔහු සඳහන් කර ඇත.

කොන්පියුසිස්ගේ ඉගැන්වීම් අනූව මහජනතාව අතර පවතින සම්බන්ධය පස්වැදෑරුම් ය. ඒවා නම්,
  1.  දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය
  2.  වැඩිහිටියන්  හා බාල දරුවන් අතර සම්බන්ධතාවය
  3.  ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර සම්බන්ධතාවය
  4.  මිත‍්‍රයන් අතර පවත්නා සම්බන්ධතාවය
  5.  රාජ්‍ය පාලකයා හා පුරවැසියා  අතර පවත්නා සම්බන්ධතාවය
        කොන්පියුසිස් ගෙනහැර දැක් වූ මෙම සමාජ ධර්මතා සාමාන්‍ය පොදු මිනිස් වර්ගයා තුළම සහජීවනය වඩවාලයි. දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය එහි මූලික පදනම වේ. යහපත් පුරවැසියන් තැනීමේ මූලික වගකීම දෙමාපියන් වෙත පැවරේ. ඔවුනගේ උසස් ආදර්ශය දරුවන් යහමගට යොමු කරවයි. මිනිස් ගුණදම් අගයන ආදර්ශමත් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් අතර සම්බන්ධයත්, වැඩිහිටියන් හා බාල දරුවන් අතර සම්බන්ධයත් බෙහෙවින් බලපාන බව කොන්පියුසිස් සඳහන් කර ඇත. එසේම පාලකයන්ට පහසුවෙන්ම තම රට වැසියන් අවනත කර ගැනීම සඳහා කොන්පියුසිස්ගේ ඉගැන්වීම් මහෝපකාරී වූවාට නිසැක ය.


                                                                                   - මුතූ ඩිලානි -

Sunday, July 24, 2016


බලශක්ති අර්බුධය හා අනාගතය


     සමස්ත ලෝක ප‍්‍රජාවම ඉන්ධන හා බලශක්ති අර්බුධයට මුහුණ දී සිටින බව රහසක් නොවේ. වර්තමාන ලෝකය කාර්මීකරණය ඔස්සේ උපරිම තලයකට පැමිණ ඇති නිසා ම පාරිභෝගික අවශ්‍යතා ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මෙවැනි පරිසරයක් තුළ බලශක්ති අර්බුධය අනාගතයේ දී විශ්වය පුරාම පැතිරිය හැකි අර්බුධයකි. එනම් වර්තමානය වන විට මුළු ලෝකයම බලශක්ති අර්බුධයක එළිපත්තේ සිටින බවට
සැකයක් නොමැත.

   එහිදී බලශක්ති අර්බුධයට විසදුම් වශයෙන් එක් එක් රටවල් එකිනෙකට වෙනස් වූ පියවර ගෙන ඇත.තාක්ෂණික වශයෙන් දියුණු සංවර්ධිත රටවල් බලශක්ති අර්බුධයේ දී ඒ සඳහා ප‍්‍රධාන විකල්පය වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ පරමානු බලයයි.නමුත් තුන්වන ලෝකයේ රටවල් ජල විදුලි බලය ගැන විශ්වාසයෙන් කටයුතු කරන ආකාරයක් දැකිය හැකි ය.ඒ නිසාම තුන්වන ලෝකයේ රටවල් අද වන විට බලශක්ති අර්බුධය හමුවේ ඉතාමත් අසරණ තත්ත්වයකට පත්ව ඇත. ශී‍්‍ර ලංකාව ඇතුළු අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ජල විදුලි උත්පාදනය කෙරුණත් එය බලශක්ති අර්බුධයට සාර්ථකව මුහුණ දීමට තරම් ප‍්‍රමාණවත් තරමක නොමැති වීම අභාග්‍යයකි.


     කැලෑ විනාශ කිරීම, දර භාවිතය ආදිය හේතුවෙන් ජල උල්පත් සිඳී යාම නිසා ඒ ගැටලුව ජල විදුලි බලය උත්පාදනය කිරීමේ කර්තව්‍යයට බාධාවක්ව පවතී. මේ නිසා අද වන විට ලොක්ය විශේෂයෙන්ම ඔස්ටෙ‍්‍රලියාව වැනි රටවල් අසම්මත මං කිහිපයක් ම මෙම අර්බුධය විසඳීමේ මාර්ග වශයෙන් භාවිතයට ගෙන තිබේ. එහිදී ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නේ සුළ‘ ශක්තිය හා සූර්ය ශක්තියයි. තවත් අසම්මත උත්පාදන මාර්ගයක් වශයෙන් ජීව වායුව නිපද විම ද ගත හැකි ය. ගංගා, ඇළ-දොළ මතුපිට වැවෙන සැල්වීනියා, ජපන් ජබර මාර්ගයෙන් සාර්ථකව ජීව වායුව නිෂ්පාදනය කළ හැකි බවට මෑතක දී ශී‍්‍ර ලාංකික විද්‍යාඥයෙක් අදහසක් ද පළ කර ඇත.



         මේ ආකාරයට කෘතිමව හෝ ස්වභාවිකව හෝ එසේත් නොමැති නම් කුමන මාර්ගයකින් හෝ උත්පාදිත බල ශක්තිය සම්පූර්ණයෙන් ම ක්ෂය වුවහොත් එය මිනිසාගේ ජීවන ක‍්‍රමයට ප‍්‍රබල තර්ජනයක් විය හැකි ය.එහෙයින් මේ සඳහා ගත යුතු හොඳම ක‍්‍රියාමාර්ගය තිබෙන බල ශක්තිය අරපරිස්සමෙන් ප‍්‍රයෝජනයට ගැනීම මිස වෙනත් විකල්පයක් නොමැති තරම් ය. එසේ නොවුණහොත් අම්ලකර පවා මිල දී ගැනීමේ පටන් මිනිස් ජීවිතයේ අවශ්‍යතාවන් සපුරා ගැනීමේ කප්රුකක් බදු බලශක්තිය දක්වා දිවෙන මිනිසාගේ ජීවන ක‍්‍රමය කැඩී බිඳී විසිරී යන අභාග්‍යසම්පන්න යුගය වෙත කිට්ටු වන්නේ ය.


                                                                               - මුතූ ඩිලානි -
ජපන් හනමත්සුරි උළෙල



     ථෙරවාද බෞද්ධ රටවල හා මහායාන බෞද්ධ රටවල බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වානය සිදු වූ දින වකවානු පිළිබඳව දැඩි වෙනසක් දක්නා ලැබෙයි. ප‍්‍රබලම මාහායාන බෞද්ධ රටක් වූ ජපානය බුදුරජාණන් වහන්සේ උපත ලැබූ දිනය වශයෙන් සලකන්නේ බු: ව: 565 අපේ‍්‍රල් 8 වන දා ය.එහෙත් සිද්ධාර්ථ උත්පත්තිය සිදු වූ ස්ථානය පිළිබඳව එවැනි වෙසක් දක්නට නොලැබේ. ථෙරවාදී රටවල බෞද්ධයන් සේම ජපන් බෞද්ධයෝ ද බුදුන්වහන්සේ වර්තමාන නේපාලයට අයත් ලුම්බිණි උයනේ දී උපත ලැබූ බව විශ්වාස කරති.

     එනිසා මුළු මහත් ජපානය පුරා විසිරී පවත්නා සියලුම බෞද්ධ සම්ප‍්‍රදායයන් හා ඒවාට අයත් අනුගාමිකයෝ බෞද්ධ විද්‍යාල ශිෂ්‍යයෝ මෙදින විශේෂ ආගමික වතාවත්හි නිරත වෙති. මෙදින ජපානය පුරා පැවැත්වෙන මේ ඓතිහාසික උත්සවය හදුන්වනු ලබන්නේ හනමත්සුරි යනුවෙනි. හනමත්සුරි යන්න වචන දෙකක් එක් වීමෙන් සෑදී ඇත. ජපන් භාෂාවෙන් මල් හැඳින්වීම සඳහා හන යන පදය භාවිතා කරන අතර උත්සවය යන්න හැඳින්වීම සඳහා මත්සුරි යන්න භාවිතා කරයි. හනමත්සුරි යන්නෙහි සාමාන්‍ය තේරුම මල් උත්සවය යනුවෙනි.පෙබරවාරි මාසයේ සිට ජපානයේ මල් පීදීම ආරම්භ වේ. එය අපේ‍්‍රල් මාසය වන විට අස්සක් මුල්ලක් නෑර පිපී සකුරා මලින් කුළු ගැන්වෙයි. සිදුහත් උපතත් සුපිපි මල්වලින් ගැවසී ගත් උයනකදී සිදු වූවක් නිසාත්, උපත ලබා සැනෙකින් සිදුහත් කුමරු පියුම් පිට සත් පියවරක් ඉදිරියට පා තැබූ නිසාත් මල් හා සිදුහත් උපත අතර ඇත්තේ විශාල සම්බන්ධතාවයකි. ඒ නිසා මෙයට මල් උත්සවය යන ව්‍යවහාරය සෑම අතින්ම උචිත වේ.
ජපානයේ මෙම මල් උත්සවය පිළිබඳ පුරාණ චීන බුමු දහම සමග ද සම්බන්ධ වී පවතින බව අතැම් උගතුන්ගේ මතයයි. චීනයේ පවා වාර්ෂිකව මෙම හනමත්සුරි උත්සවය පවත්වා ඇති බව චීන බෞද්ධ ඉතිහාසයේ සඳහන්වේ. නිහොංශොකි, මිෂුකගමි වැනි ජපන් ඓතිහාසික ග‍්‍රන්ථවලට අනූව ජපානයේ මෙම මල් උත්සවය පළමු වරට ක‍්‍රි.ව. 606 දී හෙවත් සුයිකො අධිරාජිනියගේ රාජ්‍ය සම්ප‍්‍රාප්තියෙන් 14 වැනි වර්ෂයේ දී සියලුම ආගම් පොදුවේ පවත්වා තිබේ. අපේ‍්‍රල් 8 වැනි දා පැවැත් වූ මෙවැනි උත්වයක් ගැන පාහියන් භික්ෂුව තම දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. 
නරා යුගයේ දී ඉදිවුණු විහාරාරාම අතුරින් ඉතා සම්මානණීයත්වයට පත්ව තිබූ නොදයිිජි විහාරයේ පරණ සිදුහත් පිළිමයක් දක්නා ලැබෙන හෙයින් මේ හනමත්සුරි උත්සවය නරා යුගයේ දී හෝ ඊට මදක් කලින් ආරම්භ වන්නට ඇතැයි බොහෝ දෙනා නිගමනය කරති.
      ආරම්භක අවස්ථාවේ හනමත්සුරි උළෙල භික්ෂූන්වහන්සේ සහ ඒ ඒ ආරාමවල දායකකාරකාදීන් අතුරෙන් බලවත් පිරිස පමණක් සිදු කරන උත්සවයක් සේ පැවතී ඇත. එය නැරඹීම සාමාන්‍ය මහජනයාගේ සිරිත වී තිබේ.

     ජපානයේ බොහෝ විහාරවල කුඩා සිදුහත් ප‍්‍රතිමාවක් දක්නට ලැබෙන බවත් එය පියු පිට වඩින සිදුහත් කුමරුගේ විලාසයක් නරූපණය කරන බවත් සැලකේ. ඒ පිළිමය සෑම වසරකම අපේ‍්‍රල් 8 වන දා විහාරය ඉදිරිපස මණුඩපයකට වැඩම කරවනු ලබයි. එක් වූ සිවලු දෙනා පිළිවෙළින් සුවඳ තේ පැන්වලින් පිළිරුව නහවති. ඇතැම් විහාරවල පෙරහැර පැවැත්වීමේ චාරිත‍්‍රයක්  සහ එහි කුඩා දරුවෝ කිමෝනාවලින් සැරසී පෙළට ගමන් තරනු ලබති. ජපානයේ පොදු උත්සව අතරින් මෙය ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ.

   සිදුහත් ප‍්‍රතිමාව තේ පැන්වලින් නැහැවීමට හේතුව වන්නේ සිදුහත් කුමරු උපත ලබන මොහොතේ දෙව්ලොව සිට සුවඳ පැන් වර්ෂාවක් පතිත වූ බව ජපන් වැසියෝ විශ්වාස කිරීමයි. චීනයේ ද සිදුහත් උපත සිහි කිරීමට සුවඳ පැන්වලින් නැහැවීම සිරිතක් වී ඇත.



    ජපන් වැසියෝ බුදුන් වහන්සේගේ  බුද්ධත්වය ලැබූ දිනය වශයෙන් සලකණු ලබන්නේ බු.ව. 531 දෙසැම්බර් 8 වන දා ය. ඇතැම් ආරාමවල මේ දිනය අරමුණු කරගෙන උත්සව ද පවත්වති. සෙන් ආරාමවල සම්බුද්ධත්වය සිහි කිරීමේ උත්සවයට විශේෂ තැනක් හිමි වේ. 

    බු.ව. 486 පෙබරවාරි 15 දා සම්බුද්ධ පරිනිර්වානය සිදු වූ බව ජපන් වැසියන්ගේ සාමාන්‍ය පිළිගැනීම වේ. එය අරමුණු කරගෙන ද ආගමික උත්සව පවත්වනු ලැබේ. පරිනිර්වානය අරමුණු කරගෙන පවත්වන උත්සවය ඊතයිකො ලෙස හදුන්වනු ලැබේ.

                                                                      - මුුතූ ඩිලානි -

කලාව හා විද්‍යාව



     කලාව හා විද්‍යාව යනු එකිනෙකට වෙනස් වූ ස්වාධීන මාර්ග දෙකක ගමන් කරන සංකල්ප දෙකකි. විද්‍යාවේ ලක්ෂණය වන්නේ වෙනස් වෙමින් සකස් වීමයි. එනම්, විද්‍යාව් සම්මුති සත්‍ය මත පදනම් වෙයි. නමුත් කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙමින් පුද්ගල ආත්මීය ලක්ෂණ මත පදනම් වූ ඇගයුම්ශීලී අධ්‍යයන ක්ෂේත‍්‍රයකි.

     විද්‍යාවේ මූලික අරමුණ භෞතික සංවර්ධනය වුව ද  කලාවේ මූලික අරමුණ ආධ්‍යාත්මික සංවර්ධනයයි. එනම්, පුද්ගල මනස තුළ වින්දනාත්මක සුවයක් ඇති කිරීම වේ. මෙලෙස විද්‍යාව හා කලාව යන ක්ෂේත‍්‍ර දෙක මාර්ග දෙකක ගමන් කළ ද ඒවා අතර අන්‍යෝන්‍ය සබඳතාවක් දැකිය හැකි වේ. එනම් භෞතික සංවර්ධනයකින් තොර ආධ්‍යාත්මික සංවර්ධනයක්වත් පැවතිය නොහැකි ය.



      විද්‍යාවේ මිනිස් මනස යථාර්ථවාදීව මෙහෙයවනු ලබයි. එනම් මිනිස් බුද්ධිය කළඹවමින් විශ්වයේ යථාර්ථය තේරුම් ගැනීමේ මාර්ග විවිර කර දෙනු ඇත. අද වන විට මිනිසා විසින් අතපත් කරගෙන තිබෙන භෞතික සංවර්ධනය මැනීමට මිනුමි නොමැත. මන්ද, ඒ නිසි විශාල වූ දැනුම් සම්භාරයක් ද උපකරණ තොගයක් ද විස්මිත ක‍්‍රියාකාරකම් බොහොමයක් ද පමණක් නොව ඈත විශ්වය පවා තම අණසකට යටත් කරගෙන තිබේ. ඒ අතර අභ්‍යවකාශ තාක්ෂණික ජයග‍්‍රහණ, තොරතුරු තාක්ෂණයේ භාවිතය, නව භෞතික විද්‍යාත්මක සංකල්ප, නවීන උපකර ආදියෙන් සන්නද්ධ වූ විශ්මිත මිනිසෙකුගේ භූමිකාව රගදක්වනුයේ විද්‍යාවේ භෞතික සංවර්ධනය මොනවට පැහැදිලි කරවමිනි. 

     එහෙත් කලාවේ අරමුණ විද්‍යාවේ අරමුණ නොවේ. එහි ප‍්‍රධානතම අරමුණ වින්දනය යි.වින්දනාත්මක හැගීම්බර චින්තනය හමුවේ මිනිස් බුද්ධිය යටපත් වනු ඇත. එනම් විශවයේ යථාර්ථය හොඳින් අවබෝධ කර ගැනීමකට වඩා වින්දනාත්මකව, සරලව, සුගමව ජීවිතය විනිවිද දැකීමට මිනිසා යොමු කරනු ඇත. මිනිසාගේ ආධ්‍යාත්මයේ පවතින ආදරය, කරුණාව, හැගීම්බර බව, සංයමය යනාදියට කලාව වාසස්ථානයකි.



    භෞතික සංවර්ධනය තුළින් වක‍්‍ර ලෙස කලාවේ අරමුණ ද ඉටු වේ. චිත‍්‍රපට, රූපවාහිනිය, සංගීතය, ඡුායාරූප ක්ෂේත‍්‍රය යනාදියෙහි දියුණුව ඔස්සේ කලාව හොඳින් රසවිඳීමට මිනිසාට හැකි වේ.

   මිනිස් මනසෙහි තුලිතතාව පවත්වා ගැනීමට භෞතික සංවර්ධනය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය ද අත්‍යවශ්‍ය වන බව පැහැදිලි ය. නිතර බුද්ධිය මෙහෙයවමින් දීර්ඝ කාලයක් අඛණ්ඩ පර්යේෂණයක නිරත වන භෞති විද්‍යාඥයෙකුට තම මානසික වෙහෙස නිවා ගැනීමට වින්දනාත්මක වැඩසටහනකින් පිටිවහලක් ලැබෙනු ඇත.






මිනිසා පිටපත් කිරීම

        අප මෙතෙක් කල් දැන සිටියේ ලිපියක, චායා පිටපතක් ලබා ගන්නා ආකාරය පිළිබඳවයි. නමුත් වර්ෂ 2003 දී ලිපියක, චායාරූපයක පිටපතක් ලබා ගන්නවාට වඩා හොඳින් පුද්ගලයෙකුගේ පිටපතක් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සොයා ගන්නා ලදී.මේ ආකාරයට ලබා ගන්නා මිනිස් පිටපතක් විද්‍යාවේ දී මිනිස් ක්ලෝනයක් ලෙස හඳු   න්වයි. ක්ලෝනකරනයේ දී සිදු වන්නේ මුල් ජීවියාට සෑම අතින්ම සමාන තවත් ජීවියෙකු ලබා ගැනීමයි.

      මේ ක්ලෝනකරණය යන්න මුල් කාලයේ දී ශාක ප‍්‍රචාරණයට යොදා ගනු ලැබිණි. නමුත් ක්ලෝන තාක්ෂණය සතුන් උදෙසා ඉතා සාර්ථකව යෙදවූ අතර ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයෙන් ලබා ගැනීමට සමත් වුණි. පසුව වෙනත් විද්‍යාඥයන් ද වඩා යුහුසුළුව පර්යේෂණ කටයුතුවල නිරත වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මැසවුසෙට්ස් හි ජෛව තාක්ෂණික සමාගමක් වන ඇඩ්වාන්ස් සේල් ටෙක්නොලොජි නම් සමාගම විසින් වසු පැටවුන් තිදෙනෙකු ක්ලෝනකරණයෙන් ලබා ගත්තේ ය. මෙයාකාරයට ව්‍යාප්ත වූ සත්ත්ව පිටපත් ලබා ගැනීමේ ව්‍යාපෘතිය තුළින් මිනිස් ක්ලෝනයක් උපදවාගනු ලැබූයේ ප‍්‍රංශයේ ක්ලෝනයිඩ් නම් සමාගමයි.

        ක්ලෝනකරණයෙන් මිනිස් පිටපතක් ලබා ලැනීමේ දී සිදු වන ක‍්‍රියා පටිපාටිය වනුයේ පළමුවෙන් ඩිම්බ ෙසෙලයක න්‍යෂ්ටිය ඉවත් කරනු ලබන අතර : එහිදී ඩිම්බ ෙසෙල අයත් ජීවියාගේ ප‍්‍රවේණික ලක්ෂණ ඉවත් වේ. පසුව අනාගතයේ දී කළලයක් බවට වර්ධනයට සුදුසු ලක්ෂණ ඇති ෙසෙල ප්ලාස්මය පමණක් ඉතිරි කර ගනී. පසුව ඉවත් කරන ලද න්‍යෂ්ටිය වෙනුවට දේහ ලක්ෂණ ඇති කිරීමට අදාළ න්‍යෂ්ටියක් ඩිම්බයට ඇතුළු කරනු ලබයි.මේ න්‍යෂ්ටිය දේහයේ ඔනෑම ෙසෙලයකින් ලබා ගත හැකි ය. පසුව ක්ලෝනකරණය කරන ලද කළලය මවගේ ගර්භාෂය තුළ වැඩෙන්නට සලස්වයි. මෙම මිනිස් පිටපත ලබා ගැනීම තුළින් වාසි මෙන්ම අවාසි ද ඇති වේ. එහි ඇති ප‍්‍රයෝජන ලෙස,

  • මිය ගිය දරුවකු වෙනුවට වෙනත් දරුවකු ලබා ගැනීමට දෙමව්පියන්ට හැකි වීම දැක්විය හැකි ය.

   නමුත් එහි අවාසි සහගත තත්ත්වයන් ද පවතී. එනම් ක්ලෝනකරණයෙන් උපදින දරුවන් ලෙඩ රෝගවලට ඉක්මනින් නැඹුරු වීමේ හැකියාවෙන් යුක්ත වීමයි. ඔවුන් දියවැඩියාව, අධික ලෙස මහත් වීම වැනි රෝග වලට ගොදුරු වන්නට වැඩි ඉඩක් පවතින බව පැවසේ. එසේම මෙමගින් සමාජමය ගැටලු උද්ගත වීමට වැබි ඉඩක් පවතී.එනම් පිටපත් කිරීමට ලක් කරනුයේ දැනට ජීවතුන් අතර සිටින කුඩා දරුවෙක් නම් අනාගතයේ දී එකිනෙකාට හැම අතින්ම සමාන මිනිසුන් දෙදෙනෙක් මහපාරේ අවිද යන්නට හැකි වන නිසා සමාජය නොමග යා හැකි ය. එසේම මානව සදාචාරය දරුණු පිරිහීමකට ලක් වන ආකාරයේ ප‍්‍රශ්න උද්ගත විය හැකි ය.


  • ක්ලෝනකරණයෙන් ලබා ගත් දරුවෙකුගේ දෙමව්පියන් කවුද?
  • ක්ලෝනයට ෙසෙල ලැබුණේ පියාගෙන් ද? සහෝදරයෙකුගෙන් ද?
  • ක්ලෝනයේ මව ඩිම්බ දායක මව ද? ගර්භාෂයක මව ද?
යනාදියට පිළිතුරු සැපයීමට නම් අලුත් නීති පවා ඇති කළ යුතු ය. ක්ලෝනයක් යනු ස්වභාව ධර්මයට පිටතින් ඇති මාවතක ගොස් තැනූ ජීවිකේ වුව ද ඔහු හෝ ඇය ජීවත් වනුයේ ස්වභාව ධර්මයෙන් නිර්මාණය වූ පරිසරයකයි. එවිට මේ පුද්ගලයා ස්වභාව ධර්මයටත් සමාජයටත් අවශ්‍ය නැති අයෙක් නොවන්නේ ද? 



                                                                                                                    - මුතූ ඩිලානි -

ලක්දිව ඉපැරණි තාක්ෂණික ඥානය 

         පුරාණ ශී‍්‍ර ලංකාවේ තාක්ෂණික ඥානයේ මහිමය මෙතෙකැයි කියා කිව නොහැකි ය. ඒ අතර එක් සන්ධිස්ථානයක් ලෙස වාරි කර්මාන්ත හඳුන්වා දිය හැකි ය. අතීතයේ ලාංකිකයන්ගේ අතැගිලිවලින්, දහඩිය මහන්සියෙන් ගොඩ නැගුණු වාරි ශිෂ්ටාචාරය තුළ මුළු මහත් ජලාශ‍්‍රිත ශිෂ්ටාචාරයම උපත ලැබී ය. ශී‍්‍ර ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් වූයේ එම පන්නරය නිසාවෙනි.එකල මුතුන්මිත්තන් යොදා ගත් තාක්ෂණික ඥානයෙහි වාස්තවිත බව කෙතරම්ද යන්න පැවසීමට බස අසරණ ය. ඒවා එතරම්ම ආස්වාදනීය බවින් යුක්ත ය. නිදසුන් වශයෙන් සැතපුමකට අඟලක බැස්ම ඇති ඇළවල් ඔවුන්ගේ දහඩිය බිඳු   වලින් ඉදි වුණ දේවල් ය. එමගින් ජගය රාශිකරණය කර ඔවුන් එදා කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. එකල රජරට හැදින්වූයේ වැව් බැඳි රාජ්‍ය නමින් ය. ඒ තරමටම ලක්දිව වාරි කර්මාන්ත දියුණුවේ හිනිපෙත්තටම ගමන් කර තිබුණි. වැසි ජලය එක් කර කෘෂි ආර්ථිකයක මින්ස්සු වශයෙන් සෑහෙන වෙහෙසක් තුළින් වැව් අමුණු තනමින් එකල මිනිසුන් ජලය ඒකරාශී කර ගත් හ. එදා ඒ ඉදිකළ වැව් අමුණුවල තාක්ෂණය අද විද්‍යාඥයන් පවා මවිතයට පත් කරන සුලු ය.

නිදසුන් : මින්නේරිය, යෝධ ඇළ, ජය ගඟ




        පුරාණ ශී‍්‍ර ලංකකාවේ තාක්ෂණික ඥානය පිළිබඳ සැලකීමේ දී කලා ශිල්ප ද වැදගත් වේ. කලා ශිල්ප බද්ධ වන්නේ සංසකෘතියත් සමඟයි. ප‍්‍රතිමා, මූර්ති, වාස්තු විද්‍යාත්මක නිර්මාණ, චිත‍්‍ර ආදිය දෙස බැලීමේ දී එකල තාක්ෂණයේ මහිමය විශද වේ. එතරම්ම එදා පැවති තාක්ෂණය උත්කෘෂ්ට ය.මෙහිදී කැටයම් සහ ප‍්‍රතිමා ද වැදගත් ය.

නිදසුන් :
    අවුකන පිළිමය, සමාධි බුදු පිළිමය, සීගිරි බිතු සිතුවම්, ඉසුරුමුණි පෙම් යුවල, පොළොන්නරු ගල් විහාරය, ලෝවා මහා ප‍්‍රාසාද නටඹුන්


ලෝවා මහා ප‍්‍රාසාද නටඹුන් හාමුදුරුවරු 9000ක් වැඩවාසයට සුදුසු වන අයුරින් සැකසුනකි.





        වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ සැලකීමේ දී පුරාණ හ‍්‍රී ලංකාවේ තාක්ෂණික ඥානය අමුතු ම මුහුණුවරකින් එහි පවත්නා අනර්ඝත්වය වර්ණනා කරයි. නිදසුන් වශයෙන් චෛත්‍යයන්ද, ලෝහ පිළිම, රත‍්‍රං පිළිම ආදිය දැක්විය හැකිය.එසේම චිත‍්‍ර ද තාක්ෂණික ඥානයෙහි අනර්ඝත්වයට සාක්ෂි දෙයි.

නිදසුන් :
   සීගිරි චිත‍්‍රවලට දැනට අවුරුදු දහස් ගණනක් ගත වුව ද ඒවායේ ආලේපිත වර්ණවල උත්කෘෂ්ට බව

මේ අයුරින් පැරණි ලක්දිව තාක්ෂණික ඥානයේ අනර්ගත්වය සනාථ කිරීමට අදටත් සාක්ෂි පවතී.

                                                                             - මුතූ ඩිලානි -





බලාපොරොත්තුව






දිය සිඳෙනකම් බලා සිටියා

මාළුවෙක්

අල්ලා ගන්නට පහසුවෙන්

දිය සිඳුනු කල දැනුනි

ඒ විලේ

මාළුන් නොමැති බැව්....

කදිම දිව ඔසුවක්

ගුණයෙන් අනූන කිතුල් පිටි

           අතීතයේ අපේ මුතුන්මිත්තන් විසින් ආහාරයට ගත් විශේෂ ආහාර වර්ග බොහොමයකි. අද මෙන් පිටි සහ ක්ෂණික ආහාර වර්ග බහුල නොවූ එකල පෝෂදායී ආර විශේෂය රැුසක් තිබුණි. එකී ආහාර විශේෂ අතර කැඳ වර්ග විශේෂ තැනක් ගනී. ඒ අතරිනුත් කිතුල් පිටි කැඳ සුවිශේෂී වූයේ ය. එහි ඇති ඖෂධීය වටිනාකම එයට බලපෑවේ ය.


         
       උස් කදුකර බිම් ප‍්‍රදේශයන්හි වැවෙන කිතුල් ශාකය එතරම් සුලබ නොවන තාල වර්ගයේ ගස් විශේෂයකි.මෙම ගසේ හට ගන්නා මල පිපී අවසන් වනවාත් සමගම ගසේ ආයු කාගය ද අවසන් වේ. එවිට එම ගස් කඳ කපා පළා එහි බඩය ඉවතට ගෙන එය කොටා වතුරට දමයි. එහිදී කිතුල් පිටි වතුර භාජනයේ පතුළට එකතු වේ. එය පෙරා අනතුරුව අව්වේ ලා හොඳින් වියලා ගනී.  වියලා ගත් කිතුල් පිටි භාවිතයෙන් කිතුල් අලුවා, කැඳ සහ තලප සාදා ගනී. 
     
     ගැස්ට‍්‍රයිටීස් හෙවත් අමිල පිත්ත රෝගීන් සදහාත්, රක්තවාත වැනි උෂ්ණාධික රෝග ආදියෙන් පෙලෙන්නන් සඳහාත්, ඝණ ආහාර ගත නොහැකි අය  සඳහාත් කිතුල් ආහාර ගුණදායක වේ.
       
        ශීත ගුණයෙන් යුත් කිතුල් පිටි කැඳ  උදෑසන හිස් බඩට පානය කළ හැකි නම් ඉහත සදහන් කළ රෝග සියල්ල සදහාම බෙහෙවින් හිතකර වේ. විශේෂයෙන්ම ගැස්ට‍්‍රයිටීස් රෝගීන්ගේ කුස තුළ ඇසිඩ් නිපද වීම මර්දනය කරමින් වමනය සහ උගුරට ඒම මැඩ පවත්වයි.රසයෙන් වගේම පෝෂණීය ගුණයෙන් ද කිතුපිටි හෙබි නිසා ඝණ ආහාර ගත නොහැකි රෝගීන් සදහා ද ශක්තිය වැඩි වීමට මෙම ආහාරය ප‍්‍රමාණවත් වේ. මෙය ශීත ගුණයෙන් ද යුතු ආහාරයක් වන නිසා උෂ්ණාධික රෝගීන් සදහා ද හිතකරයි.

       පොල් කිරි මිශ‍්‍ර කරමින් සාදා ගන්නා කිතුල් පිටි කැඳ හොඳින් පැසෙන තුරුම ළිප තබා හැඳ ගෑ යුතු ය. එසේ නොකළහොත් ඒවා කැටි ගැසෙයි. එය හොඳින් පැසුණු බව දැන ගැනීමට හැකි වන්නේ කැඳ භාජනයෙන් නැගෙන ගොජ ගොජ හඬ සහ මතු වී බිඳී යන බුබුළු මගින් ය. මෙය හැදි ගාමින් බොහෝ වේලා ළිප තැබීමෙන් කිතුල් තලප සාදා ගැනීමට හැකි ය. ඇතැමුන් මෙයට මුං ඇට පියලි, කජු කැබලි සහ වියලි මිදි යන දෑ එකතු කොට එහි රසය තවත් වැඩි කර ගැනීමට උත්සහ දරයි.


ඉතා රසවත් මේ ආහාරය සීනි සහිත නිසා දියවැඩියා රෝගීන් නිතරම ආහාරයට නොගත යුතු ය.




                                                                        - මුතූ ඩිලානි -








සිත







මගේ හිත,

නුඹ එක්කල මං තරහයි

මා

පෙළනා හින්දා මෙලෙසින්

සිතුවිලි නොනැගෙන තැනකට

යන්නට

වරම් ලැබේද, කවදා කෙලෙසින්.....

අනුන් නිසාවෙන් වේදනා විඳ

කදුලට දුක සගවන්නට හිඳ

සිත නුඹ යනවා

බොහෝ දුර....




                                                                                    - මුතූ ඩිිලානි -












Saturday, July 23, 2016



නූතන විවාහය






මිල, මුදල්, බූදල්, තනතුරු

මතින්

ආදරය නම් හොද්ද

ලාවට තවරා 

ඉහින්න ගැසූ

කොත්තු රොටිය





                                                                              - මුතූ ඩිලානි -







මග බලා හිදිමි මම






මගේ සිත් අහස එකළු කළ ඔබ

මගේ සුසුම් පොද

අදට වඩා හෙට

බලා හිදිමි ඔබ එනතුරා

නෙතු පියන් රිදෙයි මගේ

හද මඩල නැවතී ගොස්

අප පිය නැගූ ඒ මාවත

අද පාළුව

ඔබ නැතුව

සිත සැලුව එතෙර සරනා තුරා

සැදෑ හිරු බැස නැගෙනා තුරා

බලා හිදිමි මම ඔබ එනතුරා....







Sunday, July 10, 2016




මිහි මඩල



හලාහල විෂ බඳුන
පිරීතිර ළය තෙමෙන
රුදුරු කටු වැල් ගහණ
ගල් බොරළු පස පිරුණ
නියං සායෙන් පෙළී
පැලී ළය දැදුරු වුණ
අසිරිමත් තැනක්මය
මිහිමවගෙ ළය මඩල

ඵලය මත මිස දිනෙක
සිහිල උල්පත් වතුර
වගුල සඳකත් මිණක
ආදරේ දිය සිහිල

කඳුරු ඇළ දොළ ඉතිර
ගලන නිල් දිය දහර
ගලන්නේ එක ලෙසම
සදා නොසිඳී හෙටද



ඇත්ත




ඖෂධය

හුස්ම පොද

ජීවිතය නුඹය

අම්මේ

මට නම්




                                                                    - මුතූ ඩිලානි -






බුදු හාමුදුරුවනේ





සිතේ නිවන අද

කෙලෙස රකින්නද

නැත දහමේ අගය

ලොවේ........

පුංචි ලොවට යලි වඩින්න

බුදු හාමුදුරුවනේ......

ලොව්තුරු සිත් සනසාලූ

දෙසූ දහම් පද නිසාලු

මෙතේ බුදුන් දැක

නිවන් දකින්නට.....

මගක් අපට

කියා දෙන්න

බුදු හාමුදුරුවනේ......



- මුතූ ඩිලානි -

Saturday, July 9, 2016



උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය
                               




පැහැසරණිය මිණි පැමිණිය          කොත් අගට
බ`ද කිකිණිය දද ගිහිණිය          විමන් වට
නොව පැරණිය වන රමණිය     විටින් විට
සැලළිහිණිය වදු කැලණිය                  පුරවරට

          අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූ කැලණිය පුරවරය ඓතිහාසික රම්‍ය නගරයක් ලෙස සුප‍්‍රකටය. ඒ බව සැලලිහිණි සංදේශයේ මොනවට කියා පායි. කල්‍යාන නදියෙන් ගලා හැලෙන ජල ධාරා සේ කැලණි පුරවරය සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී යන නගරයක් ලෙස ද සුවිශේෂී තැනක් ගනී. මෙකී ඓතිහාසික පුරවරය තුළ ප‍්‍රකට මෙන්ම අප‍්‍රකට සිද්ධස්ථාන රාශියක් දැක ගැනීමට පිළිවන. උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය ඉන් එකකි.

            කොළඹ නුවර මහා මාර්ගයේ කැලණිය, ටයර් හංදිය හා තොරණ හංදිය අතර පිහිටි බුළුගහ හංදියේ මෙම උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය පිහිටා ඇත. සියවස් ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති මෙකී දේවාලය රාමායනය දක්වා දිවෙන බව කියැවේ. දකුණු ඉන්දියාවේ තිරිච්චි නගරයේ කාවේරි ගංගාව අසබඩ පිහිටි ශී‍්‍ර රංගම් කෝවිලෙහි විෂ්ණු දේව ප‍්‍රතිමාව මෙරටට අහිමි වූයේ කැලණිය අධිපති විභීෂණ දෙවියන්ගෙන් සිදු වූ අත්වැරදීමක් නිසාවෙනි. නමුත් එම දේව ප‍්‍රතිමාව ශී‍්‍ර ලංකාව දෙස බලා පිහිටුවා තිබූ ඉරියව්ව නිසා ලංකාවට අසුභ කාලයක් උදා නොවුණි. එහෙත් 1977 දී දකුණූ ඉන්දීය මහ ඇමති එම්. ජී. රාමචන්ද්‍රන් ලංකාවට විණ කරන අදහසින් ශී‍්‍ර රංගම් කෝවිලේ දකුණු දොරටුව වසා දමන ලදී. එම දොරටුව වැසීමත් සම`ග විෂ්ණු මහා දෙවියන්ගෙන් අප රටට තිබූ ආශිර්වාදය, ඇල්ම බැල්ම අහිමි විය. එනිසා ශ‍්‍රී ලංකාව තුළ කලින් කල විවිධ ව්‍යසනයන් උද්ගත විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථික, සමාජීය, සංස්කෘතිකමය වශයෙන් ලංකාව අ`දුරු ආගාදයකට තල්ලූ විය. රට තුළ උද්ගත වූ මෙකී තත්ත්වයන් සමනය කිරීමට සහ විෂ්ණු දේව බැල්ම රට තුළ නැවත ස්ථාපනය කිරීමට අවශ්‍යව තිබුණි. එබැවින් 2009 ජනවාරි 12 දින එවකට හිටපු ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන් ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් හාස්කම් වලින් හෙබි උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය ඉදි විණි. 

            අද වන විට නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍ර වන ස්ථානයක් ලෙස මෙම දේවාලය හැ`දින්වීමට පිළිවන. බුළුගහ හංදියත්, මහා මාර්ගයත් දේවාලයත් යා කෙරෙනුයේ මනස්කාන්ත තොරණකිනි. දකුණු ඉන්දීය කලා සම්ප‍්‍රදායන්ගෙන් මෙම තොරණ නිර්මාණය කර ඇත. දේවාලය ඉදිරිපිට ඇති නෙළුම් මලින් ගහණ වූ කුඩා විල් තෙර හරහා හමා එන සුළ`ග සැදැහැවතුන්ගේ ගතට සිතට සිසිලසක් එක් කරයි. ඉදිරිපස තොරණින් පිවිසීමත් සම`ග දැක ගත හැකි වන්නේ දැවැන්ත බුද්ධ ප‍්‍රතිමා වහන්සේය. ඓතිහාසික කැලණි පුරවරයේ බෞද්ධාගමික හැඩරුව මෙයින් මනාව පිළිඹිබු කරවයි. බුද්ධ ප‍්‍රතිමා වහන්සේ සමීපයෙහි ගල් කුලූණු කීපයක් දැක ගැනීමට පිළිවන. 


            



           දේවාලය, වේදිකා දෙකකින් සමන්විතය. ඒ ඉහළ මාලය හා පහත මාලය වශයෙනි. විෂ්ණු මහා දෙවියන් වැඩ සිටින්නේ ඉහළ මාලය තුළ පිහිටි දේවාල ගෘහය තුළය. මෙම දේවාල ගෘහයට පිවිසෙන්නේ කොරවක් ගල් සහිත පියගැටපෙළකිනි. විෂ්ණු මහා දෙවියන් වැඩ සිටින දේවාල ගෘහයේ කැටයම් දකුණු ඉන්දීය කලා සම්ප‍්‍රදායන්ගෙන් සුසැ`දිය. මහබලිපුරම්හි කලා ගුරු මහාචාර්ය ලෝගනාදන් සූරීන් සහ ගෝපාල් සාමි සෝම සාමි වැනි ජගත් කීර්තියට පත් ගල් පිළිම නෙලන්නන් දේවාලයේ අලංකෘත කැටයම් පිළිම නිර්මාණය කර ඇත. විෂ්ණු දෙවියන්ගේ වාහනය යැයි සැලකෙන ගුරුලා පක්ෂියා සෑම වසරකම දෙසැම්බර් මස එම විෂ්ණු දේව ප‍්‍රතිමාව කරා පියාඹා එයි. එම`ගින් විෂ්ණු දේවියන්ගේ ආශිර්වාදය මෙම දේවාලය සතු වන බව පැහැදිලි කරවයි.

        නව ග‍්‍රහ අපල වලට අධිගෘහිත දෙවියන් ලෙස සැලකෙන්නේද විෂ්ණු දෙවියන්ය. එනිසා අපල උපද්‍රව සමනය කර ගැනීමේ අදිටනින් නව ග‍්‍රහ වෘක්ෂයන් මෙන්ම නව ග‍්‍රහ දේවාලයද ස්ථාපනය කර ඇත. යම් නව ග‍්‍රහ අපලයක් ඇති පුද්ගලයෙකු එම අපලයට අදාළ වෘක්ෂයට පැදකුණු කිරීමෙන් හා වන්දනාමාන කිරීමෙන් අපල දුරු කර ගැනීමට හැකිවන බව විශ්වාසය වේ. 

      අලූයම 5.45 ට දේවාලය විවෘත කරනු ලැබේ. පෙ. ව. 8.00 සිට 9.00 දක්වා අභිෂේක පූජාව පවත්වනු ලබයි. උදෑසන 9.00 ට මුරුතැන් පූජාව පැවැත්වීම සිරිතය. දහවල් 11.30ට මහා පූජාව පවත්වා දේවාලය වසා දමන අතර නැවත විවෘත කරන්නේ ප.ව. 5.00 ටය. ප.ව. 5.30ට සිදු කරන්නේ සවස මහා පූජාවයි. දිනයේ කාර්යයන් අවසන් කරමින් රාත‍්‍රී 8.00ට කිරි පූජාවෙන් පසු දේවාලය වසා දමනු ලබයි.

   උත්පලවර්ණ මහා විෂ්ණු දේවාලයෙහි පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ දේවාල භූමියේ ඇති කාර්යාලය ම`ගිනි. එහි වත්මන් කළමනාකරු වන මධූෂ සිතාර ජයසිංහ මහතා විසින් පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි. විදුලි බිල්, දුරකථන බිල්, ජල බිල්, සේවක වැටුප් ඇතුලූ පරිපාලනමය කටයුතු රැුසක් ඒ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවේ. එතුමන් පවසන්නේ,
”මේ දේවාලයේ ස්වාමිතුමා මස් මාංශ අනුභවයෙන් පූර්ණ කාලීනව වැලකිලයි ඉන්නෙ. ඒ හින්දා පූජාවට සුදුසු පරිදි පේ වීම සිද්ධ වෙනවා. මේ දේවාලෙ මෙපමණ හාස්කම් සහිත එකක් වෙලා තියෙන්නෙ ඒ නිසයි. දේවාලෙට එන බැතිමතුන්ගේ ප‍්‍රාර්ථනාවන් 100% ක් ඉෂ්ට වෙන්නෙ සාමිගෙ කැපවීමත් දේව ආශිර්වාදයත් නිසා.”

         දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන්නේ ජයතිලක බණ්ඩාර තල්ගස්පිටිය මහතාය. නඩත්තු කටයුතු බිල්පත් ගෙවීම මෙන්ම දේවාලයේ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන්නේද දේවාලයට ලැබෙන ආධාර උපකාර ම`ගිනි. වාර්ෂිකව පත්තිනි දේවාල පෙරහැරක්ද මෙම දේවාලය ම`ගින් පවත්වනු ලබයි. ඒ ස`දහා විශාල වශයෙන් අලි ඇතුන් සහ නැටුම් කණ්ඩායම්ද ඇතුලත් කර ගනී. දේවාල භූමියෙන් ආරම්භ වී තොරණ හංදියෙන් වරාගොඩ පාර හරහා ගොස් ටයර් සංස්ථාව මාර්ගය හරහා නැවත ආපසු දේවාල භූමියට පැමිණේ. පසු දින කැලණි ග`ගට ගොස් දිය කැපීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍ය අවසන් වේ. පෙරහැරට සහභාගී වන සියලූ දෙනාට දින 10ක් නිර්මාංශ ආහාර ලබා දෙනු ලැබේ. 

         අදෘශ්‍යමාන බලවේගයන් යනු මිනිසාගේ ජීවිතයේම කොටසකි. එයින් දේව ආශිර්වාදය පතා සිදු කරන පූජාවන් ප‍්‍රකටය. එදා සිට අද දක්වාම කාලානුරූපීව දේව ආශිර්වාදය පතා සිදු කරන මෙකී පූජාවන් අතර විෂ්ණු දේව වන්දනාවද ප‍්‍රකටයි. ශීී‍්‍ර ලාංකීය සමස්ත සැදැහැවත් පිංවතුන් සශී‍්‍රකත්වය, සෞභාග්‍යය පතා සිදු කරන පූජාවන් අතර උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයෙන් ලැබෙන්නේ මහ`ගු අස්වැසිල්ලකි.

                                                                                             - මුතූ ඩිලානි -